ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2026 වසර සහ ඉන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත මහ බැංකු ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ඉදිරිපත් කර තිබේ. මිල ස්ථායීතාව පවත්වා ගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සුරැකීම සහ තිරසාර ආර්ථික වර්ධනයකට සහාය වීම සඳහා වන උපායමාර්ගික ප්‍රමුඛතා මෙම ලේඛනය මඟින් පෙන්වා දී ඇත. පසුගිය වසර දෙකක කාලය තුළ වාර්තා වූ වර්ධන වේගය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, 2026 වසරේදී මෙරට ආර්ථිකය සියයට 4 ත් 5 ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.රටේ යථා තත්ත්වය ඇති කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් ලබා දෙන සහාය අගය කරන අතරම, ආපදා සූදානම සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබා දීමේ හදිසි අවශ්‍යතාව මහ බැංකුව අවධාරණය කරයි. විදේශීය ජංගම ගිණුම අඛණ්ඩව තුන්වන වසරටත් අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳපළ මඟින් තීරණය වන විනිමය අනුපාතිකය අඩු අස්ථාවරත්වයක් පෙන්වමින් වසර තුළ ක්‍රමික අවප්‍රමාණය වීමක් පෙන්නුම් කර ඇත.විදේශීය ණය සේවාකරණය සහ වාහන ආනයන ඉල්ලුම ඉහළ යාම වැනි අභියෝග මධ්‍යයේ වුවද, 2025 වසර අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය (GOR) ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ඉක්මවා ගොස් තිබේ. මෙය ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම සංචිත මට්ටමයි. මීට අමතරව, මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම කරමින්, එහි විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා වන නව ප්‍රතිපත්ති කිහිපයක් 2026 වසරේදී හඳුන්වා දීමට මහ බැංකුව සැලසුම් කර ඇත.


























