2026 අයවැය කෙටුම්පත පිළිබඳ COPF වාර්තාව සලකා බලයි: සිවිල් සංවිධාන අදහස් ලබාදෙයි

පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) රැස්වීමකදී, 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විනිශ්චය පනත (Appropriation Bill) සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121(5)(i) අනුව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව සලකා බැලීම සඳහා ගනු ලැබීය. මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ පැවති මෙම සාකච්ඡාවේදී, මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ තාක්ෂණික කණ්ඩායම විසින් සකස් කරන ලද එම වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කෙරිණි.​වාර්තාවට අනුව, 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විනිශ්චය පනත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFM Act), රාජ්‍ය ණය කළමනාකරණ පනත (PDM Act) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතා සමඟ අනුකූල වන පරිදි සකස් කර ඇත. තවදුරටත්, වාහන ආනයන බදු වලින් අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් ලැබීම හේතුවෙන් 2025 වසරේ ආදායම රුපියල් බිලියන 100 කින් අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බවත්, එමඟින් 2026 මූල්‍ය සැලසුම් සකස් කිරීමට වැඩි පහසුවක් ලැබී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, වාහන ආනයනය අඩුවීම හේතුවෙන් 2026 වසරේ ආදායම් වර්ධනය මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.​අනතුරුව, 2026 විනිශ්චය පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පවත්වන ලදී. අයවැයේ පාරදෘශ්‍යභාවය, විවිධ අංශ අතර මුදල් වෙන් කිරීම, දැනට හඳුනාගෙන ඇති ගැටලු සහ ඒ ආශ්‍රිත යෝජනා පිළිබඳව එම නියෝජිතයින් සිය අදහස් ඉදිරිපත් කළහ. මෙම අදහස් සහ යෝජනා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බව COPF සභාපති පා.ම. හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.​මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අජිත් අගලකඩ, චිත්‍රල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, සහ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 839

Leave A Reply

Your email address will not be published. Required fields are marked *