2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම ඇරඹේ

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන අයදුම්පත් භාර ගැනීම අද (24) සිට 2026 අප්‍රේල් මස 24 වනදා දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත. ඒ අනුව, සියලුම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අදාළ විදුහල්පතිවරුන් මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම ද සිය අයදුම්පත් යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.​පාසල් අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරුන් තමන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර පද්ධතියට ඇතුළු විය යුතුය. අයදුම්පත සාර්ථකව යොමු කිරීමෙන් අනතුරුව, ඉදිරි ප්‍රයෝජනය සඳහා එහි මුද්‍රිත පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය බවද දන්වා සිටියි. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බැවින්, නියමිත දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කරයි.​මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112785922, 0112784537, 0112786616 සහ 0112784208 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැකිය. එසේම [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද තොරතුරු ලබා ගත හැක.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *