2026 විස්සයි-විස්ස ලෝක කුසලාන ඉන්දු – පකිස්ථාන මහා තරඟාවලියට දැඩි ආරක්ෂක ජාලයක්

2026 විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තීරණාත්මක තරඟය වෙනුවෙන් මහජන ආරක්ෂාව, රථවාහන පාලනය සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළත් පුළුල් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව 2026.02.15 දින පස්වරු 7.00 ට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත මෙම තරඟය සඳහා පොලිස් නිලධාරීන් 2,000 ක් සහ රථවාහන නිලධාරීන් 600 ක් පමණ යොදවා ඇති අතර, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධව ආරක්ෂක කටයුතු මෙහෙයවනු ලබයි. ක්‍රීඩාංගණයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බැවින්, ප්‍රවේශ පත්‍ර නොමැති පුද්ගලයින්ට ක්‍රීඩාංගණය අවට රැස් නොවන ලෙසත්, නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ තරඟය නරඹන ලෙසත් දැනුම් දෙනු ලැබේ. ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 3.00 ට විවෘත කෙරෙන අතර, ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල්, මත්පැන්, විශාල බෑග්, හෙල්මට්, ජැකට්, සංගීත භාණ්ඩ, ඩ්‍රෝන යානා සහ තියුණු ආයුධ ඇතුළත් කර ගැනීම සපුරා තහනම් වේ.​තරඟය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා සතොස රථගාල, සෙබස්තියන් ඇළ පාර, මටි පාර්ක්, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස ඇතුළු ස්ථාන කිහිපයක වාහන නැවැත්වීමේ පහසුකම් සලසා ඇත. කෙසේ වෙතත්, ක්‍රිකට් ආයතනය නිකුත් කළ වලංගු බලපත්‍ර නොමැති කිසිදු වාහනයකට ඛෙත්තාරාම මාවත හන්දියෙන් හෝ විල්සන් පෙරේරා මාවතෙන් ඇතුළු වීමට අවසර නොලැබෙන අතර, වින්සන්ට් පෙරේරා මාවත සහ ග්‍රෑන්ඩ්පාස් පාර ඇතුළු මාර්ග කිහිපයක රථවාහන සීමා පනවා තිබේ. බීමත්ව හෝ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරන අතර, සී.සී.ටී.වී (CCTV) නිරීක්ෂණ සහ ශරීර පරීක්ෂාවන් සඳහා ආරක්ෂක අංශ වෙත පූර්ණ සහය ලබා දෙන ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *