2026 වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. රජය විසින් මේ වන විට නිකුත් කර ඇති දින දර්ශනයට අනුව 2026 මැයි මස 01 වනදා වෙසක් පොහොය ලෙසත්, මැයි 30 වනදා අධි පොසොන් පොහොය ලෙසත් නම් කර ඇත. කෙසේ වෙතත්, මැයි 01 වනදාට වෙසක් උත්සවයට අදාළ “විසා නැකත” උදාව නොවන බැවින් එම දිනය වෙසක් පොහොය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව මහා නාහිමිවරු පෙන්වා දෙති.මහා සංඝරත්නය සහ ජ්‍යොතිෂවේදීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍රයන්ට අනුකූලව විසා නැකත යෙදෙන මැයි මස 30 වනදා වෙසක් පොහොය සැමරිය යුතු බවට මහා නාහිමිවරු තීරණය කර ඇත. ඒ අනුව, 2026 මැයි 30 වනදා නිල වශයෙන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත්, රාජ්‍ය වෙසක් උත්සවය ඇතුළු සියලු ආගමික වතාවත් එදිනට සංවිධානය කිරීමට අදාළ ආයතන වෙත උපදෙස් ලබා දෙන ලෙසත් එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.


























