ජ්‍යෝතිර්වේදීන්ගේ පොදු එකඟතාවය සහිතව සකස් කරන ලද 2026 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (මාර්තු 17) නිල වශයෙන් මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන් වහන්සේ වෙත මෙම නැකැත් පත්‍රය පිළිගැන්වීම මාලිගාවත්තේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේදී සිදු විය.බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. පසුගිය කාලසීමාවේ නැකැත් සම්බන්ධයෙන් පැවති විවිධ මතභේද සහ අවිනිශ්චිතතාවයන් අවසන් කරමින්, විද්වත් එකඟතාවයකින් යුතුව ජාතික නැකැත් චාරිත්‍ර නිම කිරීම මෙහි විශේෂත්වයකි.මෙහිදී අනුශාසනාවක් සිදුකළ අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ, අතිශය දුෂ්කර හා මතභේදාත්මක අවස්ථාවක් මනා ලෙස කළමනාකරණය කරමින් ජනතාව අතර පැවති කුකුස දුරු කිරීමට රජය මැදිහත් වීම ප්‍රශංසනීය බවයි. නිවැරදි නැකැත් කාලසටහනක් ඉදිරිපත් කිරීම තුළින් සමස්ත රටවැසියාටම කිසිදු සැකයකින් තොරව එළඹෙන අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාව සැලසෙන බව උන්වහන්සේ වැඩිදුරටත් වදාළහ.


























