කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 46 වැනි වරටත් පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී උණුසුම් මුහුණුවරකින් පැවැති “සහෝදරවරුන්ගේ සටන” සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 59ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් ක්‍රීඩකයෝ පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 182ක් රැස් කළහ. එහිදී අකේන් ද අල්විස් ලකුණු 66ක් සහ සෙත්රු ප්‍රනාන්දු ලකුණු 59ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ශක්තිමත් කළ අතර, ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේදී දිමුතු තාරුක ලකුණු 38කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉසිපතන විද්‍යාලීය කණ්ඩායමට තර්ස්ටන් පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 40යි පන්දු 1ක් තුළදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123ක් පමණි. ඉසිපතන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තරුන් පෙරේරා ලකුණු 46ක් ලබාගත් අතර නවිඳු උමෙත් ලකුණු 34ක් රැස් කළේය. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකේන් ද අල්විස් ලකුණු 24කට කඩුලු 4ක් ද, තනුග පලිහවඩන ලකුණු 22කට කඩුලු 3ක් ද දවා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.තරගයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මෙහිදී විශේෂ සම්මාන පිරිනැමුණු අතර, පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් පෑ තර්ස්ටන් විද්‍යාලයේ අකේන් ද අල්විස් තරගයේ වීරයා සහ හොඳම පිතිකරු ලෙස අභිෂේක ලැබීය. මීට අමතරව තර්ස්ටන් විද්‍යාලයේම සෙත්රු ප්‍රනාන්දු හොඳම පන්දු රකින්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, ඉසිපතන විද්‍යාලයේ දිමුතු තාරක හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීමට ලක් විය.තරගය අවසානයේ පැවැති ජය සංකේත ප්රදානෝත්සවය දෙවිද්යාලයේම විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ක්‍රීඩාශීලීත්වය සහ සහෝදරත්වය මනාව පිළිබිඹු වූ මෙම තරගය නරඹන්නට දෙවිද්යාලීය ආදි ශිෂ්‍යයන් සහ වත්මන් සිසුන් විශාල පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයකි.


























