49 වැනි සුලෝහිත සංග්‍රාමයේ එක්දින ශූරතාව නාලන්දාව සතු කරගනී

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලයන් අතර 49 වැනි වරටත් පැවැති “සුලෝහිත සංග්‍රාම” වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට දිවා/රාත්‍රී තරගයක් ලෙස පසුගිය 7 වැනිදා පැවැති මෙම සීමිත පන්දුවාර ගැටුමේදී කාසියේ වාසිය දිනූ නාලන්දා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.​නාලන්දා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නෙමිඳු අක්මීමන ලකුණු 79ක් සහ රන්මිත් දිනුවර ලකුණු 78ක් රැස් කරමින් සිය කණ්ඩායමට ශක්තිමත් පදනමක් දමා දුන්හ. ඔවුන් දෙදෙනාගේ අර්ධ ශතකවල සහ මල්ෂ ප්‍රනාන්දුගේ නොදැවී රැස්කළ ලකුණු 19ක සහයෝගයෙන් නාලන්දා ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261ක් දක්වා ඉහළ ගියේය. පන්දු යැවීමේදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දසිත් බටුගහගේ ලකුණු 24කට කඩුලු 2ක් ද, ශාරද ජයරත්න ලකුණු 52කට කඩුලු 2ක් ද බිඳ දැමීමට සමත් වූහ.​පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට පන්දුවාර 46 පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 80ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කළ ද, නාලන්දා පන්දු යවන්නන් හමුවේ එම උත්සාහය සාර්ථක නොවීය. පන්දු යැවීමේදී නාලන්දාව වෙනුවෙන් ඔසඳ පමුදිත ලකුණු 19කට කඩුලු 3ක් සහ සංතුල් විජේරත්න ලකුණු 50කට කඩුලු 2ක් දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ. තරගයෙන් අනතුරුව ජයග්‍රාහී නාලන්දා කණ්ඩායම වෙත ශූරතා කුසලානය පිරිනැමීම ද සිදු කෙරුණි.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *