මෙරට කෘෂිකාර්මික සංස්කෘතියේ අභිමානය විදහා දක්වන 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) සහ හෙට (09) යන දෙදින පුරා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් ගොවි ජනතාව සිය අස්වැන්න රැගෙන සහභාගී වීමට නියමිතය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන මෙම මංගල්‍යය හරහා මෙවරද සිංහල සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කෙරේ.අටමස්ථානාධිපති, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදු කෙරෙන අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් දායක වී ඇත. රටට සෙත් පතා සිදු කෙරෙන මෙම මහා පිංකම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්වීමට නියමිතව තිබේ.සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් ස්වභාවධර්මයට සහ තෙරුවනට ස්තූතිය පුද කරමින් සිදු කරන මෙම චාරිත්‍රය, ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ අනන්‍යතාවය ලොවට හෙළි කරන අවස්ථාවකි. අනුරාධපුර ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උතුම් මංගල්‍යය නැරඹීම සඳහාත්, ගොවි අස්වැන්න පූජා කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීම සඳහාත් විශාල ජනතාවක් අද දිනයේ අනුරාධපුරයට පැමිණෙමින් සිටිති.





















