6 ශ්‍රේණියටත් නව ප්‍රතිසංස්කරණ 2027 සිට

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ මීළඟ අදියර ලෙස 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කමිටුවේදී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. එහිදී නව ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.​දැනටමත් 2026 වසරේ සිට ආරම්භ කර ඇති පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී විමසා බැලූ අතර, එහි ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා වන දෙවන සහ තෙවන වාරවල ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේය. ඒ අනුව, දෙවන වාරයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව දරුවන් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ගුරුවරුන් සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් ද මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් 6 ශ්‍රේණියට අදාළ සියලුම විෂය ඒකක (Modules) විශේෂ කමිටු හරහා යළිත් වරක් ගැඹුරින් සමාලෝචනය කරමින් පවතින බව නිලධාරීන් මෙහිදී අනාවරණය කළේය. මෙමගින් දරුවන්ට වඩාත් ගුණාත්මක සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.​එමෙන්ම, සිසුන්ගේ ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිර්දේශ ලබා ගැනීමට විදේශීය සම්පත්දායකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති අතර ඔවුන් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අධ්‍යාපනය සම්බන්ධ ජාතික මෙහෙයුම් කමිටුව පත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර, ඉදිරියේදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ද මෙහෙයුම් කමිටු පිහිටුවීමට නියමිතව ඇත.​ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ, රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන මෙම වෙනස්කම් ඉතා විනිවිදභාවයකින් සහ විධිමත් අධීක්ෂණයකින් යුතුව ඉදිරියට ගෙන යන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *