2026 වසරේ 6 ශ්‍රේණියට අදාළව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසකගේ දෙමාපියන් අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. මෙම විරෝධතාව සඳහා දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටි බව වාර්තා වේ. එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ ගැටලු සහගත බව කියන ඉංග්‍රීසි මොඩියුලය (Module) හැරුණු විට, සෙසු විෂයන්ට අදාළ මොඩියුලයන් දරුවන්ට ඉගැන්විය යුතු බවයි.විරෝධතාවයට එක්වූ මවක් අදහස් දක්වමින්, “ගුරුවරු උගන්වන්න කැමති නම්, ඉංග්‍රීසි මොඩියුලය හැර අනිත් හැම මොඩියුලයකම ප්‍රශ්නයක් නැත්නම්, දරුවොත් ඉගෙනගන්න ආස නම් සහ දෙමාපියන් විදිහට අපිත් මේ වෙනසට සූදානම් නම්, ඇයි රජය දරුවන්ට බෙදපු පොත් ආපහු එකතු කරගන්නේ?” යැයි ප්‍රශ්න කර සිටියාය. තවත් විරෝධතාකරුවෙකු පැවසුවේ දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන ලෙසත්, දේශපාලන අරමුණු වෙනුවෙන් අධ්‍යාපනය පාවිච්චි නොකරන ලෙසත්ය. විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පවා මෙම ප්‍රතිසංස්කරණය හොඳ වෙනසක් ලෙස පිළිගෙන ඇති බැවින්, පුද්ගලික න්‍යාය පත්‍ර නිසා දරුවන්ට අසාධාරණයක් නොකර මෙම නව ක්‍රමය වහාම හඳුන්වා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.


























