ආන්දෝලනයට තුඩු දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, අදාළ දෝෂය හඳුනාගත් වහාම එහි බෙදාහැරීම් කටයුතු අත්හිටවූ බවත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් ප්‍රකාශ කළාය. මෙම වරද සිදුවූයේ කුමන අදියරකදීද සහ ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අමාත්‍යාංශය මේ වන විට සොයා බලමින් සිටින අතර, වගකීම තහවුරු වූ වහාම අදාළ පාර්ශවයන්ට එරෙහිව පියවර ගැනීමට රජය පසුබට නොවන බව ඇය සහතික විය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙනම නීතිරීති පද්ධතියකට අනුව ක්‍රියාත්මක වන බැවින්, මෙම පරීක්ෂණය ඒ සඳහා පත්කළ මණ්ඩලයේ ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදුවන බවත්, මෙහි අරමුණ කරුණු සැඟවීම නොව මෙවැනි අතපසුවීම් අනාගතයේදී වැළැක්වීම බවත් ඇය අවධාරණය කළාය. “අපට අවශ්‍ය කරුණු වසන් කිරීමට නොව, වැරදි නිවැරදි කිරීමටයි” යනුවෙන් පැවසූ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන පද්ධතියේ විනිවිදභාවය සහ වගවීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ප්‍රකාශ කළාය.පාසල් අධ්‍යයන කාලසටහන පිළිබඳව කරුණු දක්වමින් ඇය කියා සිටියේ 6 ශ්‍රේණියේ සිසුන්ට ජනවාරි 21 වනදාත්, 1 ශ්‍රේණියේ සිසුන්ට ජනවාරි 29 වනදාත් පෙළපොත් සහ මොඩියුල ලබාදීමට නියමිත බවයි. එම දිනවලට පෙර අදාළ මොඩියුල නිවැරදි කර සිසුන් අතට පත් කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරිය, මෙම හුදකලා සිදුවීම පදනම් කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බියක් ඇති කර නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. මෙම සිදුවීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටපත් කිරීමට යොදා නොගත යුතු බවත්, සිසුන්ගේ සුබසාධනය රජයේ ප්‍රමුඛතම වගකීම බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


























