අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ 6 ශ්‍රේණියේ සිසුන්ට කඩිනමින් යුක්තිය ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අගමැතිනිය මේ බව කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉදිරි ගමන පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (16) මාදම්පේ SEDEC ශ්‍රවණාගාරයේ පැවති හමුවකදීය.රජය බලයට පත්වන විට පරිවර්තනීය වෙනසක් අවශ්‍ය ප්‍රධානතම අංශය ලෙස අධ්‍යාපනය හඳුනාගත් බවත්, එවැනි ප්‍රතිසංස්කරණවලදී සුළු පිරිසකගෙන් විරෝධයක් එල්ල විය හැකි බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ බව ඇය අවධාරණය කළාය. එමෙන්ම, මෙම ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපනය සඳහා ඉහළම අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය සහ යටිතල පහසුකම් පරතරය පියවීම සඳහා දැනටමත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.රටේ අධ්‍යාපන පද්ධතිය අර්ථවත් පරිවර්තනයක් කරා ගෙන යාමට නම් මහජන පිළිගැනීම මෙන්ම අධ්‍යාපන බලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


























