ශ්‍රී ලංකා සෙපක්ටක්‍රෝ සම්මේලනය (SLSTF) සංවිධානය කරනු ලබන 6 වන දකුණු ආසියානු සෙපක්ටක්‍රෝ (කික් වොලිබෝල්) ශූරතාවලිය 2026 පෙබරවාරි 7 සහ 8 යන දිනවල කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. මෙම ජාත්‍යන්තර තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දකුණු ආසියානු සෙපක්ටක්‍රෝ සම්මේලනය විසින් ශ්‍රී ලංකා සම්මේලනය කෙරෙහි තැබූ විශ්වාසය මත බව එහි සභාපති නිලම් හලාල්ඩීන් මහතා අද (22) පැවැති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් නිවේදනය කළේය.මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල ජාතික කණ්ඩායම් සහභාගී වන අතර, පිරිමි සහ කාන්තා ඉසව් රැසක් රවුන්ඩ් රොබින් (Round-robin) ක්‍රමය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වේ. මෙම දැවැන්ත ක්‍රීඩා ඉසව්ව සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහ අනුමැතිය හිමිව ඇති අතර, පුහුණු පහසුකම් ඇතුළු අවශ්‍ය පරිපාලන සහායද රජය විසින් ලබා දී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම ශූරතාවලියේ වැදගත්කම තවදුරටත් තහවුරු කරමින්, ජාත්‍යන්තර සෙපක්ටක්‍රෝ සම්මේලනයේ (ISTAF) සභාපති බූන්චායි ලෝර්පිපාට් මහතා ලබන පෙබරවාරි 5 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එමෙන්ම ආසියානු සෙපක්ටක්‍රෝ සම්මේලනයේ සභාපතිවරයාද මෙම තරඟාවලිය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දී තිබේ. ක්‍රීඩකයන්ගේ ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් පහසුකම් සැපයීම සඳහා අනුග්‍රාහකයන් කිහිපදෙනෙකු දැනටමත් ඉදිරිපත් වී ඇති අතර, ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාව ඉහළ නැංවීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව සංවිධායක කමිටුව විශ්වාසය පළ කරයි.


























