කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 63 වැනි වරටත් පැවැති “සහෝදරවරුන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 8ක අභිමානවත් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී දින තුනක් පුරා පැවැති මෙම උණුසුම් තරගයේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගයේ පූර්ණ පාලනය තමන් සතු කරගත්හ.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 159ක් පමණි. එහිදී නවිදු උමෙත් සහ තරුන් පෙරේරා ලකුණු 43 බැගින් ලබාගත් අතර, පන්දු යැවීමේදී තනුග පලිහවඩන සහ සෙත්රූ ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 276ක් රැස් කළේ රචින්ත ද සිල්වා (71) සහ හිරුෂාන් ඩයස්ගේ (44) සබඳතාවය මතය.පසුබෑමකට ලක්වූ ඉසිපතන කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසෙද්දී තර්ස්ටන් පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉසිපතන ඉනිම ලකුණු 109කට සීමා වූ අතර තනුග පලිහවඩන ලකුණු 44කට කඩුලු 5ක් ද, සෙත්රූ ප්‍රනාන්දු ලකුණු 36කට කඩුලු 4ක් ද දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ. තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙස ඉසිපතන විදුහලේ දසිත් සෙනාල් සම්මාන ලැබීය.තරගයේ වීරයා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තර්ස්ටන් විදුහලේ සෙත්රූ ප්‍රනාන්දු සම්මාන දිනාගත් අතර, රචින්ත ද සිල්වා හොඳම පිතිකරු ලෙසත්, තනුග පලිහවඩන හොඳම පන්දු යවන්නා ලෙසත් ඇගයීමට ලක්විය. ඉසිපතන විදුහල්පති දර්ශන උඩවත්තගේ සහ තර්ස්ටන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.





















