73 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය නිමාවෙයි

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවූ 73 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දින 8 ක උණුසුම් තරගාවලියකින් පසු ඊයේ (24) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාගාර කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම තරගාවලිය මෙරට බැඩ්මින්ටන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.​මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයදුම්පත් 1525 ක් ලැබී තිබූ අතර, එය මෙරට ජාතික බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා වාර්තා වූ ඉහළම සහභාගීත්වය ලෙස ඉතිහාසයට එක්විය. කණිෂ්ඨ, විවෘත සහ ජ්‍යෙෂ්ඨ යන මට්ටම් යටතේ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් මෙන්ම වයස අවුරුදු 110 සහ 120 ට වැඩි විශේෂ කාණ්ඩ යටතේ ද තරගාවලිය ඉතා තරගකාරී මුහුණුවරකින් පැවැත්විණි.​කාන්තා විවෘත ඒකල අංශයේ අවසන් මහා තරගය රනිත්මා ලියනගේ සහ රෂ්මි භාග්‍යා මුදලිගේ අතර පැවැති අතර, එහිදී රෂ්මි පරාජය කරමින් තරග වට 2-0 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට රනිත්මා සමත් වූවාය. මෙම ජයග්‍රහණයත් සමඟ රනිත්මා ලියනගේ පිට පිට තෙවන වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස තමන් සතු කිරුළ රැකගැනීමට සමත් වීම විශේෂත්වයකි.​පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ විරේන් නෙත්තසිංහ, රසිඳු හෙන්දහේවා වට 2-0 ක් ලෙස පරාජය කරමින් සිය දෙවන ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් බහුල විරේන්, මෙහිදී සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් ජාතික ශූරයා ලෙස තවදුරටත් ස්ථාවර විය.​තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එම සංගමයේ හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 926

Leave A Reply

Your email address will not be published. Required fields are marked *