ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට අදට (මාර්තු 17) වසර 30ක් සපිරෙයි. එම අභිමානවත් සැමරුම නිමිත්තෙන්, එදා ලෝකය දිනූ ක්‍රිකට් විරුවන් මහරගම ඉන්දිරා පිළිකා භාරය සමඟ එක්ව සුවිශේෂී සමාජ සත්කාරක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පිළිකා ඇතුළු බරපතල රෝගාබාධවලින් පීඩා විඳින දරුවන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් සහ දිරිගැන්වීමක් එක් කිරීම මෙහි මූලික අරමුණයි.ඒ අනුව, ඉන්දිරා පිළිකා භාරය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම නිල වශයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹුණු අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින උද්යෝගය සහ ජයග්‍රාහී මානසිකත්වය රෝගී දරුවන්ගේ මානසික සුවය උදෙසා යොදා ගැනීමට එහිදී එකඟ විය. මෙම අවස්ථාවට 96 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවෝ වන අරවින්ද ද සිල්වා, චමින්ද වාස්, රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වූහ.මෙහි විශේෂත්වයක් වන්නේ අසීරු වෛද්‍ය ප්‍රතිකාර ලබන වයස අවුරුදු 3 සිට 17 දක්වා වූ දරුවන්ගේ සිහින සැබෑ කරන ‘Make-A-Wish Sri Lanka’ වැඩසටහන ද මෙම සත්කාරයට සමගාමීව ක්‍රියාත්මක වීමයි. රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අමතක නොවන සුන්දර මතකයන් සහ මානසික ශක්තියක් ලබා දීම මෙහිදී සිදු කෙරේ.වසර හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට මෙන්ම විවිධ ප්‍රජා සත්කාරයන්ට උරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම, මෙම නව ව්‍යාපෘතිය හරහා රෝගී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවදුරටත් කැපවීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති නවීන් දිසානායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම සත්කාරක වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.


























