දේශීය අපනයන ක්ෂේත්රය මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධාවන් නිරාකරණය කරමින් වඩාත් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ, අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ඉන්ධන ප්‍රමුඛතා පදනමක් මත ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි.මෙම සාකච්ඡාව සඳහා EDB සභාපති මංගල විජේසිංහ, CPC සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා සහ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. එහිදී අපනයනකරුවන් ඉන්ධන ලබා ගැනීමේදී වර්තමානයේ මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ බෙදා හැරීමේ පවතින ප්‍රමාදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරුණු අතර, කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්වාසදායී සැපයුම් ජාලයක ඇති වැදගත්කම අවධාරණය කෙරුණා.ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් උපයන ක්ෂේත්‍ර රැසක නියෝජිතයන් මෙම හමුවට එක්වීම විශේෂත්වයක්. ඒ අනුව ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, රබර්, ඖෂධ, තොරතුරු තාක්ෂණය (SLASSCOM), ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මුද්‍රණ කර්මාන්තය වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ සංගම් රැසක් තම වෘත්තීයමය ගැටලු මෙහිදී ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය වැනි ආයතන, නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල නොවී පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට EDB ආයතනය කැපවී සිටිනවා. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස, අපනයන කර්මාන්ත සඳහා බාධාවකින් තොරව ඉන්ධන සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර එය මෙරට ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් වනු නොඅනුමානයි.





















