සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිලාභ වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. ඊයේ (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් දායකත්ව ක්‍රමවේදය වෙනස් කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙම අරමුදල් මහජනතාව සතු දේපළක් වන අතර, විශ්‍රාම යාමේදී කිසිදු බාධාවකින් තොරව තම ඉතුරුම් ලබා ගැනීමට දායකයින්ට හැකියාව පවතින බව ඔහු සහතික කළේය.හදිසි අවශ්‍යතාවලදී අරමුදලෙන් සියයට 30ක ප්‍රමාණයක් ලබාගැනීමේ පහසුකම එලෙසම පවතින බවත්, සේවකයින් සතු කිසිදු ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට රජයේ අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. පවතින ප්‍රතිලාභ කප්පාදු කරනවා වෙනුවට අතිරේක සහන සැලසීමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. අනාගතයේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබඳව සමාජය තුළ විවිධ කතාබහ නිර්මාණය වී තිබුණද, EPF අරමුදල් විශ්‍රාම වැටුප් ක්‍රමයකට පරිවර්තනය කිරීමට හෝ දැනට පවතින එකවර මුදල් ගෙවීමේ ක්‍රමය (Lump-sum) අහෝසි කිරීමට රජය කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


























