ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සංචාරක අනුමැති (ETA) පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා තාවකාලික පියවර කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව කැමරූන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඇෆ්ගනිස්ථානය, ඝානාව, සිරියාව සහ උතුරු කොරියාව යන රටවල වැසියන් හැර සෙසු සියලුම සංචාරකයින් www.eta.gov.lk නිල වෙබ් අඩවිය හරහා සිය අයදුම්පත් යොමු කළ යුතුය. පද්ධතියේ දෝෂය හේතුවෙන් නිල අනුමැති පත්‍රයක් (Approval Notice) නිකුත් නොවූවද, අයදුම්පත යොමු කළ බවට ලැබෙන රිසිට්පත (Reference Notice) කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ වීසා බලපත්‍රය ලබාගත හැකි බව බලධාරීහු පවසති.කෙසේ වෙතත්, කැමරූන්, නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක මගීන් මෙරට සිටින අනුග්‍රාහකයෙකු (Sponsor) මාර්ගයෙන් ආගමන විගමන ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, උතුරු කොරියානු වැසියන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය වේ. සියලුම සංචාරකයින් තමන් සතු අනෙකුත් අවශ්‍ය ලිපිලේඛන සූදානම්ව තබාගත යුතු බවත්, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

























