රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සංකේතවත් කළ දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (03) පෙරවරු 8.00 ට අවසන් විය. සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 453 දෙනෙකුගේ ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම වර්ජනය ඊයේ දිනය පුරා ක්‍රියාත්මක වූ අතර, අද උදෑසන වන විට රෝහල් කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම වර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේද යන්න පිළිබඳ අවසන් තීන්දුව අද පැවැත්වෙන එම සංගමයේ විධායක සභා රැස්වීමේදී ගැනීමට නියමිතය.වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් රෝහල්වල සේවාවන්ට බාධා එල්ල වුවද, දිවයිනේ බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළම විවිධ මතවාද මතුව ඇති අතර, සංගමයේ ඇතැම් සාමාජිකයන් පවා මෙවැනි අඛණ්ඩ වැඩවර්ජන කෙරෙහි සිය ප්‍රසාදය පළ නොකරන බව වාර්තා වේ.මේ අතර, වෛද්‍යවරුන්ගේ වෘත්තීය අරගල හමුවේ රෝගීන් පීඩාවට පත්වීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට වඩා වගකීමකින් සහ විනයගරුකව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා, වෘත්තීය ගැටලු විසඳා ගැනීමේදී මහජන සේවය අඩාල නොවන පරිදි හැසිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.





















