රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (06) පෙරවරු 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. දේශපාලන මැදිහත්වීම් මත සිදුකෙරෙන වෛද්‍ය ස්ථානමාරුවීම් වහාම නතර කරන ලෙස බලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක විය. රෝගී ජනතාව පත්ව ඇති අපහසුතාවය සහ බලධාරීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සලකා බලමින් සංගමය මෙම තීරණයට එළඹ තිබේ.සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ වෛද්‍ය සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට එකඟතාව පළ වීම මෙම වර්ජනය නතර කිරීමට ප්‍රධාන හේතුව වී ඇත. අමාත්‍යවරයා අද දින විදෙස්ගත වීමට නියමිත බැවින්, ඔහු යළි දිවයිනට පැමිණි වහාම වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා තහවුරු කළේය.සාකච්ඡාවෙන් ලැබෙන විසඳුම් මත සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව වෛද්‍ය සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. ඒ අනුව අද උදෑසන සිට රජයේ රෝහල්වල කටයුතු යථා තත්ත්වයට පත්වන අතර, සාකච්ඡාව සාර්ථක වුවහොත් ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.





















