දේශීය වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟය මඟහරවා ගැනීම සඳහා විකල්ප සහල් වර්ග ආනයනය කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ. කෘෂිකර්ම බලධාරීන් පෙන්වා දී ඇත්තේ 2025/26 මහ කන්නයේ නිෂ්පාදනය දේශීය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බැවින් එළඹෙන මැයි මාසයේදී සහල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයාට සහන සැලසීම පිණිස සම්බා සහ කීරි සම්බාවලට සමාන GR 11 වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 1,040ක් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර ඇත.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පොන්නි සම්බා සහ කීරි හෝ පාල් පොන්නි යන සහල් වර්ග ආනයනය සඳහා ඕනෑම ආනයනකරුවෙකුට අවස්ථාව හිමිවන බවයි. මෙම සහල් තොග අප්‍රේල් මස 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ ඇණවුම් කළ යුතු අතර, මැයි මස 31 වැනිදාට පෙර රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතුය. විශේෂත්වය වන්නේ මෙම මෙහෙයුම කඩිනම් කිරීම සඳහා අදාළ සහල් වර්ග ආනයනය කිරීමේදී විශේෂ ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ආනයනකරුවන් නිදහස් කර තිබීමයි.ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන කිහිපයක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කර තිබේ.




















