පැරණි iOS සංස්කරණ සහිත iPhone ජංගම දුරකථන පාලනය කළ හැකි නවතම ‘Spyware’ (ඔත්තු මෘදුකාංගයක්) සොයා ගැනීමත් සමඟ තම දුරකථන වහාම යාවත්කාලීන (Update) කරන ලෙස ඇපල් සමාගම පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියි. Lookout, iVerify සහ Google යන ආයතනවල සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් පවසන්නේ ‘Darksword’ ලෙස හැඳින්වෙන මෙම ප්‍රබල මෘදුකාංගය හරහා මිලියන සිය ගණනක පරිශීලකයින්ගේ තොරතුරු සොරාගැනීමේ අවදානමක් පවතින බවයි. විශේෂයෙන්ම 2025 මාර්තු සහ අගෝස්තු අතර නිකුත් වූ iOS 18.4 සිට 18.6.2 දක්වා පැරණි සංස්කරණ භාවිතා කරන දුරකථන මෙයට ගොදුරු විය හැකි අතර, තවමත් එවැනි පැරණි සංස්කරණ සහිත iPhone මිලියන 220 ත් 270 ත් අතර ප්‍රමාණයක් ලොව පුරා භාවිතයේ පවතින බව ඇස්තමේන්තු කර ඇත.මෙම හැකර් ප්‍රහාර ප්‍රධාන වශයෙන් යුක්රේනය, සෞදි අරාබිය, තුර්කිය සහ මැලේසියාව යන රටවල පුද්ගලයින් මෙන්ම චීන ගුප්තකේතන මුදල් (Cryptocurrency) පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. රුසියානු බුද්ධි අංශ හා සම්බන්ධ බවට සැක කෙරෙන ‘Coruna’ නමැති මෘදුකාංගය ක්‍රියාත්මක වූ සේවාදායකයන් (Servers) හරහාම මෙම Darksword මෘදුකාංගය ද ක්‍රියාත්මක වේ. මෙහි ඇති බියකරුම තත්ත්වය වන්නේ සාමාන්‍ය පරිශීලකයෙකුට තම දුරකථනයට මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇති බව හඳුනා ගැනීමට නොහැකි වීමයි. මෙමගින් ඊමේල්, මුරපද, ඡායාරූප සහ ඩිජිටල් මුදල් පසුම්බි පවා සොරා ගැනීමට හැකර්වරුන්ට හැකියාව පවතී.ඇපල් සමාගමේ ප්‍රකාශිකා සාරා ඕ’රූර්ක් අවධාරණය කරන්නේ තම උපාංගවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඇති වැදගත්ම පියවර වන්නේ මෘදුකාංග නිසි ලෙස යාවත්කාලීන කිරීම බවයි. සැප්තැම්බර් මාසයේ නිකුත් වූ නවතම iOS 26 සංස්කරණය මගින් මෙම ප්රහාරයන්ගෙන් පරිශීලකයින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරයි. එමෙන්ම, iOS 26 සඳහා යාවත්කාලීන විය නොහැකි පැරණි iPhone මාදිලි භාවිතා කරන්නන් වෙනුවෙන්ම මෙම හැකර් ප්‍රහාර අවහිර කිරීම සඳහා ඇපල් සමාගම පසුගිය සතියේ විශේෂ ආරක්ෂක යාවත්කාලීනයක් ද (Special Update) නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
























