LPL තරග පාවාදීමට තැත් කිරීමේ චෝදනා: දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට එරෙහිව නඩු පැවරේ!

පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩකයෙකුට තරගයක් පාවාදීම සඳහා බලපෑම් කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇති දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වන ටාමිම් රහ්මාන් මහතාට එරෙහිව අද (12) නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අධි චෝදනා ගොනු කරන ලදී. ඒ අනුව, සැකකරු රුපියල් 200,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිය සේවාදායකයා පසුව ඇප මත මුදා හැර ඇති බවයි. බංග්ලාදේශ ජාතිකයෙකු වන නමුත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන සැකකරුට මෙම නඩුව හේතුවෙන් වසර එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බල කෙරී ඇති බවත්, එය ඔහුගේ පෞද්ගලික හා ව්‍යාපාරික කටයුතුවලට බරපතළ ලෙස බාධා ඇති කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. චෝදනාවලට වරද පිළිගැනීමට සැකකරු සූදානම් බවත්, නඩුව කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටි නීතිඥවරයා, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට වාචිකව හා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බව ද අධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු විසින් කරන ලද කරුණු ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට දිනයක් අවශ්‍ය බවයි. ඒ අනුව වැඩිදුර විභාගය සඳහා නඩුව දෙසැම්බර් 8 වන දිනට කල් තබන ලදී.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *