ඇපල් සමාගම සිය ‘සිරි’ (Siri) හඬ සහායකයා නවීකරණය කිරීම සඳහා ගූගල් සමාගමේ ‘Gemini’ කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි භාවිතා කිරීමට තීරණය කර ඇති අතර, මේ සඳහා වසර කිහිපයක දැවැන්ත ගිවිසුමකට එළඹ තිබේ. සඳුදා නිවේදනය කරන ලද මෙම තීරණය මඟින් ඇපල් සතු බිලියන දෙකකට අධික ක්‍රියාකාරී උපාංග වෙළඳපොළට පිවිසීමට ගූගල් සමාගමට අවස්ථාව හිමිවන අතර, එය OpenAI සමාගම සමඟ පවතින තරගයේදී Alphabet (ගූගල් මව් සමාගම) ලැබූ විශාල ජයග්‍රහණයකි. ඇපල් සමාගම සඳහන් කරන්නේ පුළුල් අධ්‍යයනයකින් පසු සිය මූලික AI අවශ්‍යතා සඳහා වඩාත්ම උචිත තාක්ෂණය ගූගල් සතු බව තීරණය කළ බවයි. මීට පෙර 2024 වසරේදී ඇපල් සමාගම ChatGPT තාක්ෂණය සිය උපාංගවලට ඇතුළත් කළ ද, මෙම නව ගිවිසුම සමඟ OpenAI හි භූමිකාව සීමා වී ගූගල් ප්‍රධාන තාක්ෂණික සහකරු බවට පත්වනු ඇත.මෙම ගිවිසුමත් සමඟ Alphabet සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවා ගිය අතර, පසුගිය වසරේ පමණක් එහි කොටස් අගය 65% කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, මෙම සබඳතාවය පිළිබඳව ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් සිය විරෝධය පළ කරමින් පවසා ඇත්තේ Android සහ Chrome ද සතු ගූගල් සමාගම මෙලෙස ඇපල් සමඟ ද අත්වැල් බැඳගැනීම බලය එක් තැනක කේන්ද්‍රගත වීමක් බවයි. AI තරගයේදී ඇපල් සමාගම යම් පසුබෑමකට ලක්ව සිටි පසුබිමක, මෙම නව හවුල්කාරිත්වය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇතැයි විශ්වාස කෙරේ. එසේ වුවද, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ‘Apple Intelligence’ විශේෂාංග තවදුරටත් ඇපල් සමාගමේම පෞද්ගලික ක්ලවුඩ් පරිගණක පද්ධති (Private Cloud Compute) හරහා ක්‍රියාත්මක වන බව ගූගල් සමාගම අවධාරණය කර ඇත.


























