‘Rhythm of Guitar’ සංගීත ප්‍රසංගයට කොළඹ වාණිජ මහාධිකරණයෙන් තහනම් නියෝගයක්!

අභාවප්‍රාප්ත ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව අනුසාරයෙන් නිර්මාණය වූ ‘Rhythm of Guitar’ සිංහල චිත්‍රපටය පදනම් කරගනිමින්, එහි නිෂ්පාදක ආර්ට් මූවීස් (Art Movies) පෞද්ගලික සමාගමේ අවසරයකින් තොරව සංගීත ප්‍රසංග පැවැත්වීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් සුරේෂ් මාලියද්ද ඇතුළු පිරිසකට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත. චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් ගොනු කරන ලද මෙම නඩුවේදී පෙන්වා දී ඇත්තේ, විත්තිකරුවන් පිරිසක් සමඟ එක්ව ‘Rhythm of Guitar’ යන නාමය යටතේ ලන්ඩන් නුවර සහ තවත් ජාත්‍යන්තර නගර රැසක ප්‍රසිද්ධ සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති බවයි.​මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ, ප්‍රකාශන හිමිකම් නීතියට (Copyright Law) අනුව සිනමා පටයක ආර්ථික අයිතිය හිමිවන්නේ එහි නිෂ්පාදකවරයාට බවයි. සංගීත අධ්‍යක්ෂවරයා සහ ගායන ශිල්පීන් ගෙවීම් මත පදනම්ව සිය දායකත්වය ලබා දී ඇති බැවින්, නිෂ්පාදකවරයාගේ ප්‍රකාශිත අවසරයකින් තොරව එම සංගීතය හෝ චිත්‍රපට සංකල්පය වාණිජමය වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට ස්වාධීන අයිතියක් නොමැති බවත්, මෙම ප්‍රසංග පැවැත්වීම මගින් නිෂ්පාදකවරයාගේ හිමිකම් පැහැදිලිවම උල්ලංඝනය වන බවත් අධිකරණයට ඉදිරිපත් විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ සංගීත ප්‍රසංග පැවැත්වීම වළක්වමින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී.​පැමිණිලිකාර නිෂ්පාදක සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමඟ ශමීත් ප්‍රනාන්දු, ෂෙහානි අල්විස් සහ නාමික් නෆාත් යන නීතිඥවරුන් පෙනී සිටි අතර, නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මිය උපදෙස් ලබා දී තිබුණි.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *