අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (මාර්තු 10) පිලිපීනයේ මැනිලා නුවර පිහිටි එම බැංකු මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සංවර්ධන සහයෝගිතාව ශක්තිමත් කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සහ අනාගත සහයෝගීතාව සඳහා පවතින නව අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය ප්‍රථමයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා (Masatsugu Asakawa) හමුවූ බවයි. පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදී ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ප්‍රකෘතිමත් කිරීමට රජය දරන උත්සාහය බැංකු සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය. එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම අවම කිරීමට සහ ශ්‍රී ලංකාවේ පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කරන බවයි.අග්‍රාමාත්‍යවරිය එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති යිංමින් යැං (Yingming Yang) සහ අංශ අධ්යක්ෂ ජනරාල් ක්‍රිස්ටීන් එන්ග්ස්ට්රෝම් (Christine Engstrom) සමඟ ද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය. සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සංවර්ධන සහ මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ අනාගත ආයෝජනයන් භෞතික සම්පත් සංවර්ධනයට පමණක් සීමා නොවී, ගුරු-සිසු ඉගැන්වීමේ ගුණාත්මකභාවය සහ මානව සම්පත් සංවර්ධනය කෙරෙහි වැඩි වශයෙන් යොමු විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.මීට අමතරව, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) ආයතන සහ පිලිපීන අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති අධ්‍යාපන හා නිපුණතා සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයකට ද අග්‍රාමාත්‍යවරිය එක්විය. එහිදී ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අධ්‍යාපනික ප්‍රතිපත්ති හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන (TVET) ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු විය. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව සහ කලාපීය හවුල්කරුවන් අතර තිරසාර සංවර්ධනය සහ ඇතුළත් ආර්ථික වර්ධනය උදෙසා පවතින කැපවීම යළිත් තහවුරු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

























