අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට ලැබී ඇති පැමිණිලි 11,000 කට අධික සංඛ්‍යාව සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරි වසර දෙක ඇතුළත අවසන් කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් පැමිණිලි 5,000 ක විමර්ශන මෙම වසර තුළම අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ සඳහා අවශ්‍ය නිලධාරීන් 65 දෙනෙකු අලුතින් බඳවා ගෙන ඇති අතර, ඔවුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 375 ක මුදලක් රජය වෙන් කර තිබේ.අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙම විමර්ශනවල අරමුණ හුදෙක් වන්දි ලබාදීම පමණක් නොව, අදාළ පවුල්වලට යුක්තිය ඉටු කර ඔවුන් තුළ රජය කෙරෙහි විශ්වාසය ගොඩනැඟීම බවයි. උතුරු නැගෙනහිර මෙන්ම 1988-89 කාලවකවානුවේ දකුණේ සිදුවූ අතුරුදහන්වීම් පිළිබඳවද මෙමඟින් විමර්ශන සිදු කෙරේ. එමෙන්ම සමූහ මිනීවළවල් සම්බන්ධ කැනීම් කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ඩී.එන්.ඒ. (DNA) ඇතුළු තාක්ෂණික පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවල සහාය ලබා ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.මේ අතර, වත්මන් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එවැනි කිසිදු කරුණක් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වී නොමැති බවත්, රජයට එරෙහිව පදනම් විරහිත විවේචන එල්ල කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ ගන්නා බවත් ඔහු සඳහන් කළේය. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, කිසිවෙකුට එරෙහිව සාධාරණ පැමිණිලි තිබේ නම් ඒවා විභාග කිරීමට නීතිමය පද්ධතිය විවෘතව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


























