අදත් තැනින් තැන වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, සබරගමුව, මධ්‍යම සහ ඌව වැනි ප්‍රදේශවල උදය කාලයේ පවතින මීදුම් තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.​වැසි පවතින ප්‍රදේශ හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි. එසේ වුවද, අප්‍රේල් මස 5 වනදා සිට 15 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් ගමන් කරන බැවින් මේ දිනවල දැඩි හිරු රශ්මියක් අත්විඳීමට සිදු වේ. හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ද ජනතාවට දැනුම් දෙයි.​සූර්යයා උතුරට ගමන් කිරීමේ ක්‍රියාවලිය මත අද (09) දහවල් 12:12 ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමට නියමිතය. ඒ අනුව හලාවත, පඬුවස්නුවර, බිංගිරිය, හල්මිල්ලවැව, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි සහ කිරන්කුලම් යන ප්‍රදේශවලට හිරු සෘජුවම ඉහළින් පවතිනු ඇත. එම අවස්ථාවලදී සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *