ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් පිහිටුවන ලද ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව’ සිය මංගල සැසිය අද (06) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි ගමන්මග තීරණය කරන තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකේ.අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථාපිත කෙරුණු මෙම කමිටුවේ මූලික වගකීම වන්නේ සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විධිමත් නියාමනයකට ලක් කිරීමයි. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම මණ්ඩලය, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රාඥයන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ පළපුරුදු අධ්‍යාපනඥයන් රැසකගෙන් සමන්විත වීම විශේෂත්වයකි.විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ද මෙම කමිටුවට ඇතුළත් කර තිබීම හරහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා පුළුල් සමාජ සහභාගීත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ මානව සම්පත්, යටිතල පහසුකම්, විෂය මාලා සංවර්ධනය, ඇගයීම් ක්‍රමවේද සහ මහජන දැනුවත් කිරීම් යන ප්‍රධාන කුලුනු පහ ආවරණය වන පරිදි ඉදිරියේදී අනුකමිටු රැස්වීමට නියමිත බවයි.ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට කඩිනම් පිළියම් යෙදීම මෙම යාන්ත්‍රණයේ මූලික අරමුණකි. අධ්‍යාපන ක්ෂේත්රය නිවැරදි දිශානතියකට යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූත්, දේශීය අනන්‍යතාව රැකගන්නා වූත් නව අධ්‍යාපන රටාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරී ඇති ප්‍රධානතම කාර්යභාරය වේ.මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ නලින් හේවගේ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම මෙහෙයුම් කමිටුවේ ක්‍රියාකාරිත්වයත් සමඟ මෙතෙක් කඩදාසිවලට පමණක් සීමා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රායෝගික තලයකට ගෙන ඒමට හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.





















