අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ අමුඅමුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතින් තමන් දැඩි කම්පනයට පත්වූ බවත්, මේ හරහා රටේ පවතින අනාරක්ෂිත බව යළිත් තහවුරු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අධි ආරක්ෂිත කලාපයක පවා මෙවැනි ‘චිකාගෝ පන්නයේ’ දරුණු අපරාධ සිදුවීම සම්බන්ධයෙන් රජය රටට වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු අවධාරණය කර සිටී.නීතිය හා සාමය සුරැකීම ගැන වේදිකාවල ලොකු කතා පැවසු වත්මන් පාලනය, බලයට පත්වීමෙන් පසු එම වගකීම ඉටුකිරීමට අසමත් වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. රජය විසින් සිදුකරන වැටලීම් සහ ප්‍රකාශ හුදෙක් මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා වී ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් මනාව පිළිබිඹු වන බවත් ඔහු සඳහන් කළේය.සිදුවන සෑම අපරාධයක්ම පාතාල කල්ලිවල හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුමට බැර කර රජය තම වගකීමෙන් මිදීමට උත්සාහ කරන බවට ප්‍රේමදාස මහතා චෝදනා කරයි. නීතියේ ආධිපත්‍යයට එල්ල වන මෙම දරුණු අභියෝගය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම රජයට පැවරෙන අත්හළ නොහැකි යුතුකමක් බවත්, එය ඉටුකිරීමට වත්මන් පාලනය අපොහොසත් වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.හදිසි නීතිය පනවා ත්‍රිවිධ හමුදාව පවා ආරක්ෂාවට යොදවා ඇති පසුබිමක, ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුවන කලාපයක මෙවැනි වෙඩි තැබීමක් සිදුවීම බරපතළ ගැටලුවකි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම අවිශ්වාසනීය තත්ත්වය පිළිබඳව ආණ්ඩුව වහාම කරුණු පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.මෙම කුරිරු ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, ඊට සම්බන්ධ සියලු අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා රජයට දන්වා සිටී. රටේ සාමාන්‍ය වැසියාගේ සිට වෘත්තිකයන් දක්වා සැමටම බියෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම පාලකයන්ගේ ප්‍රමුඛතම කාර්යය විය යුතු බව ඔහු පෙන්වා දෙයි.



























