දිවයිනේ ප්‍රදේශ රැසක හෙට (30) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව කාලගුණ බලධාරීන් අවධාරණය කරයි. ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ හැකිතාක් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, අව් රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වඩාත් උචිත බව ද එම නිවේදනයේ සඳහන් වේ.විශේෂයෙන්ම කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යාමෙන් වළකින ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි. මෙම කාලසීමාව තුළ සිරුරේ ජල මට්ටම මැනවින් පවත්වා ගනිමින් හිරු රශ්මියෙන් එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
























