අයවැය මඟින් ගුරුවරුන් සඳහා අනුමත කළ දුෂ්කර දීමනා වැඩිවීම මෙතෙක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, කඩදාසිවලට පමණක් සීමා නොවී අදාළ දීමනාව වහාම ගුරු ප්‍රජාව අතට පත් කළ යුතු බවයි. විශේෂයෙන්ම යාපනය සහ නාගදීපය වැනි ප්‍රදේශවල ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන ගුරුවරුන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීමට වහා මැදිහත් වන ලෙසත් ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.බොහෝ දුෂ්කර පාසල්වල මූලික පහසුකම් පවතින බව පවසමින් පාලකයින් මෙම දීමනා ලබා දීම මඟහැරීමට උත්සාහ කරන බවට ද ලංකා ගුරු සංගමය මෙහිදී කරුණු අනාවරණය කළේය. නාගදීපය වැනි දුරස්ථ දූපත් ආශ්රිත පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණ දෙන සැබෑ ප්‍රායෝගික ගැටලු හඳුනා නොගෙන මෙලෙස දීමනා කප්පාදු කිරීම අසාධාරණ බව ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බැවින්, උතුරු පළාත ඇතුළු දිවයිනේ සියලුම දුෂ්කර කලාපවල ගුරුවරුන්ට හිමි විය යුතු මෙම දීමනාව කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





















