සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසුව ගංවතුර සහන හා යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා රුපියල් මිලියන 225ක් ලබාදීමට අල්මාස් හෝල්ඩින්ස් (පුද්.) සමාගම ප්‍රතිඥා දී ඇති අතර, එහි ප්‍රධාන කොටස රජයේ ‘යළි ශ්‍රී ලංකාව ගොඩනැගීම’ ජනාධිපති අරමුදල වෙත යොමු කර ඇත. ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන දිගුකාලීන ආයෝජන හිමිකාරී සමාගමක් වන ඔවුන්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී තැරැව්කාර සමාගමක් වන තම අනුබද්ධිත අල්මාස් ඉක්විටීස් (පුද්.) සමාගම හරහා මෙම ප්‍රතිඥාව ලබා දී ඇත. අල්මාස් හෝල්ඩින්ස් සභාපති ඉම්තියාස් බුහාර්ඩීන් මහතා පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී රුපියල් මිලියන 100ක චෙක්පතක් භාර දුන් අතර, මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන හා යළි ගොඩනැගීමේ වැඩසටහන් සඳහා තවත් රුපියල් මිලියන 125ක් ලබා දීමට ද ප්‍රතිඥා දී ඇත. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට, විශේෂයෙන්ම හදිසි පුනරුත්ථාපනය සහ දිගුකාලීන ප්‍රකෘතිමත් වීම අවශ්‍ය ප්‍රදේශවලට සහාය වීමට අල්මාස් හෝල්ඩින්ස් සමාගම කැපවී සිටින බව බුහාර්ඩීන් මහතා මෙහිදී සඳහන් කළේය. මෙම අවස්ථාවට අල්මාස් ඉක්විටීස් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂමීර් බුහාර්ඩීන්, අධ්‍යක්ෂවරුන් වන රිස්වි අබ්දුල් මජීඩ් සහ රුස්ලි ෂම්සුදීන්, අල්මාස් ඉක්විටීස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉෆාඩ් මාරිකාර් සහ අල්මාස් හෝල්ඩින්ස් (පුද්.) සමාගමේ උපායමාර්ගික සංවර්ධන උපදේශක තක්ෂිලා හුලංගමුව යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. ‘යළි ශ්‍රී ලංකාව ගොඩනැගීම’ අරමුදල රට පුරා ස්වභාවික විපත්වලින් පසුව සහන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා මූල්‍ය සහාය බලමුලු ගැන්වීම පිණිස රජය විසින් පිහිටුවන ලද්දකි.


























