අලුත් අවුරුදු සැමරුමට කොළඹට දැඩි ආරක්ෂාවක් සහ විශේෂ රථවාහන සැලසුමක්!

2026 නව වසර උදාව වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටිය ඇතුළු නගරය අවට රැස්වන අතිවිශාල ජනතාවගේ ආරක්ෂාව සහ ගමනාගමන පහසුව වෙනුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. දෙසැම්බර් 31 වනදා කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිසිය අනතුරු අඟවන අතර, තදබදය උග්‍ර වුවහොත් පමණක් විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගැනේ. ඒ අනුව, ගාලු මුවදොර මධ්‍යම මාර්ගයෙන් පිටවන වාහන එන්.එස්.ඒ වටරවුම සහ බාලදක්ෂ මාවත ඔස්සේ හරවා යැවීමටත්, අවශ්‍ය වුවහොත් මැකන් මාකර් සහ බාලදක්ෂ මාවතේ ගමනාගමනය සීමා කිරීමටත් කටයුතු යොදා ඇත.​මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,200ක් පමණ යොදවා ඇති අතර, වාහන 5,900ක් පමණ නැවැත්විය හැකි ගෙවන සහ නොමිලේ ලබාදෙන වාහන නැවැත්වීමේ ස්ථාන කිහිපයක් කොළඹ නගරය පුරා වෙන් කර තිබේ. ප්‍රධාන මාර්ගවල හෝ පදික වේදිකාවල වාහන නැවැත්වීම සපුරා තහනම් වන අතර එවැනි පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි. එබැවින්, නව වසර සුරක්ෂිතව සැමරීම සඳහා පොලිසිය ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත්, නියමිත ස්ථානවල පමණක් වාහන නවතා තබන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *