රජය මැතිවරණ කල්දමමින් විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කළද, ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අඟහරුවාදා ප්‍රකාශ කළේය. රජය මහා සංඝරත්නය අපහසුතාවයට පත් කරමින්, මෙරට සංස්කෘතියට පටහැනිව ඩයස්පෝරාවේ අවශ්‍යතා මත තීන්දු තීරණ ගනිමින් සිටින බවට චෝදනා කළ ඔහු, රජයට විශ්වාසයක් තිබේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝග කළේය. පහුගිය ‘යහපාලන’ සමයේ වංචා දූෂණ සම්බන්ධ ලිපිගොනු හිතාමතා සඟවා ඇති බවත්, වත්මන් රජය පොලිසිය වැනි රාජ්‍ය ආයතන දේශපාලන පළිගැනීම් සඳහා යොදාගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම, තරුණ පරපුරට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අසමත් වී ඇති බවත්, ‘නෙළුම් බලකාය’ හරහා සිය පක්ෂය තරුණයින්ගේ සැබෑ අභිලාෂයන් හඳුනා ගනිමින් සිටින බවත් ඔහු පැවසීය. ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් සම්බන්ධ සිදුවීමේදී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම විවේචනය කළ රාජපක්ෂ මහතා, රජයේ බොරු පොරොන්දු දැන් ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් පවතින බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව හමුවට යාමට විපක්ෂය කිසිසේත් බිය නොවන බවත් අවධාරණය කළේය.


























