වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබාදුන් සහනදායී පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි. අද (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ, ඉන්ධන සහ විදුලි ගාස්තු අඩු කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ සමයේදී ප්‍රකාශ කළද, දැන් සිදු වෙමින් පවතින්නේ සියල්ලේ මිල ඉහළ යාම පමණක් බවයි. ලෝක දේශපාලන තත්ත්වයන් මත මිල ඉහළ ගිය බවට ආණ්ඩුව පවසන හේතු පදනම් විරහිත බවත්, ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.විශේෂයෙන්ම ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. ජනවාරි මාසයේදී මෙරටට පැමිණිය යුතු නැව් ප්‍රමාද වීම සහ ටෙන්ඩර් කොන්දේසි සම්බන්ධ ගැටලු හේතුවෙන් උසස් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වැඩි මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවට මරික්කාර් මහතා චෝදනා කළේය. මෙවැනි අදූරදර්ශී පාලන තීරණ හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එහි බර අවසානයේ සාමාන්‍ය පාරිභෝගිකයා මත පැටවී ඇති බව මාධ්‍ය හමුවේදී අනාවරණය විය.මේ අතර, වත්මන් පාලනය කෙරෙහි ජනතාව තුළ පවතින සැබෑ කැමැත්ත උරගා බැලීමට වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට අභියෝග කරයි. එහිදී අදහස් දැක්වූ ප්‍රියන්ත පත්බේරිය මහතා සඳහන් කළේ, බොරු ප්‍රචාර මඟින් බලය ලබාගත් පිරිසකට දැන් ජනතාවගෙන් එල්ල වන විරෝධය මැතිවරණයකදී මැනගත හැකි වනු ඇති බවයි. සහන වෙනුවට බදු බර සහ මිල වැඩිවීම් පමණක් උරුම කර දෙන පාලනයක් ජනතාව ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.





















