තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සිය ඇඳුම් අලෙවිසැලේ ඇඳුම් මාරු කරන කාමරය තුළ රහසිගතව කැමරාවක් සවි කර, ඇඳුම් මාරු කරන කාන්තාවන් නිරීක්ෂණය කළ ව්‍යාපාරිකයෙක් ඊයේ (08) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඇඳුම් මාරු කරන තරුණියන්ගේ වීඩියෝ ක්ලිප් 201ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. එම වීඩියෝ දර්ශන අතරට තරුණියන් යට ඇඳුම් මාරු කරන දර්ශන සහ නිවසක නාන කාමරයක නිරුවත් තරුණියකගේ දර්ශන ද ඇතුළත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරු කොට්‍ටාව, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු එම ඇඳුම් අලෙවිසැලේ හිමිකරු වේ.සැකකරු මෙම වීඩියෝ දර්ශන දේශීය හා විදේශීය වෙබ් අඩවිවලට විකිණීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා කැමරාව සහ ජංගම දුරකථනය පොලිසිය විසින් භාරයට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සැකකරු මෙම වීඩියෝ දර්ශන භාවිත කරමින් අදාළ තරුණියන්ගෙන් කප්පම් ලබා ගැනීමට හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමට පවා ඉඩ තිබූ බවයි. සැකකරු ඊයේ (08) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. තලංගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


























