Nikkei Asia පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇපල් සමාගම 2026 වසර සඳහා සිය නිෂ්පාදන උපාය මාර්ගයේ ප්‍රධාන වෙනසක් සිදු කිරීමට සූදානම් වෙයි. ඒ අනුව, ලොව පුරා ඉහළ අවධානයක් දිනාගත් ඇපල් සමාගමේ ප්‍රථම නම්‍යශීලී (Foldable) iPhone මාදිලිය ඇතුළුව ප්‍රමුඛ පෙළේ (High-end) iPhone මාදිලි තුනක් 2026 දෙවන භාගයේදී වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය. මෙම නව නම්‍යශීලී දුරකථනය සමඟ වඩාත් දියුණු කැමරා පද්ධති සහ විශාල තිර සහිත තවත් ප්‍රමුඛ මාදිලි දෙකක් නිකුත් කිරීමට නියමිත වුවද, සාමාන්‍ය iPhone 18 මාදිලිය නිකුත් කිරීම 2027 වසරේ මුල් භාගය දක්වා ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ.මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මතක චිප් (Memory chips) ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ ලාභදායීතාවය උපරිම කර ගැනීම සහ සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමයි. නම්‍යශීලී දුරකථන නිෂ්පාදනයේ පවතින සංකීර්ණ තාක්ෂණික අභියෝග සහ සැපයුම් දාමයේ පවතින ගැටළු අවම කර ගැනීමටද මෙම ප්‍රමාදය උපකාරී වනු ඇත. සැපයුම් අංශයේ විධායක නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති පරිදි, සැපයුම් දාමයේ සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම සහ නවතම අලෙවිකරණ උපාය මාර්ගයන්ට අනුගත වීම සඳහා ඇපල් සමාගම මෙම තීරණාත්මක පියවර ගෙන තිබේ.


























