ඇමරිකානු වෙළඳපොළට ඇඟලුම් අපනයනය කිරීමේදී කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළම බදු අනුපාතයකට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කරයි. ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, බංග්ලාදේශය සිය බදු අනුපාතය 19% දක්වාත්, ඉන්දියාව 18% දක්වාත් අඩු කරගැනීමට සමත්ව ඇති පසුබිමක, ශ්‍රී ලංකාවට තවමත් 20% ක බදු අනුපාතයක් ගෙවීමට සිදුව ඇති බවයි. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා කිසිදු සහනයක් ලබා ගැනීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.ඇමරිකාව වෙත සිදුකරන මෙරට අපනයනවලින් 70% ක්ම ඇඟලුම් වන බැවින්, මෙම 20% ක ඉහළ බදු අනුපාතය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ සෙසු විකල්ප නිෂ්පාදන සමඟ තරග කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට අහිමි වන බව විපක්ෂ නායකවරයා පවසයි. කලාපයේ ඉහළම බදු අනුපාතය පවත්වාගෙන යාම හරහා දේශීය ඇඟලුම් කර්මාන්තයට එල්ල වන බරපතළ බලපෑම පිළිබඳව රජයට නිසි අවබෝධයක් නොමැති බවට ද ඔහු මෙහිදී වැඩිදුරටත් චෝදනා කර සිටියේය.


























