ඉගිනියාගල පොලිස් ස්ථානයට විවිධ සේවාවන් සඳහා ලැබුණු රුපියල් 290,000කට අධික මුදලක් අවභාවිත කළ එම ස්ථානයේම රාජකාරී කළ කාන්තා පොලිස් සැරයන්වරියක් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යන්තර විගණනයකදී මෙම මූල්‍ය අක්‍රමිකතාව මුල්වරට අනාවරණය වී තිබේ.ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ රාජකාරී හරහා පොලිසියට එකතු වන ආදායම් මුදල් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිල ගිණුමට නිසි පරිදි බැංකුගත කිරීම පැහැර හැර මෙම වංචාව සිදු කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් සහ අම්පාර කොට්ඨාස වැඩබලන සහකාර පොලිස් අධිකාරී (1) සම්පත් වික්‍රමරත්නගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසූරිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



























