දේශීය වෙළෙඳපොළ තුළ අමුඉඟුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළෙඳුන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට පෙර රුපියල් 300 ත් 500 ත් අතර මට්ටමක පැවති අමුඉඟුරු කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1500 සිට 2000 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඉතා කෙටි කාලයක් තුළ මිල සිව්ගුණයකින් පමණ ඉහළ යාම නිසා එදිනෙදා පරිභෝජනය සඳහා ඉඟුරු මිලදී ගැනීම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇත.මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වෙළෙඳපොළට ලැබෙන ඉඟුරු සැපයුම දැඩි ලෙස සීමා වීමයි. මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට ප්‍රධාන ඉඟුරු වගාබිම් රැසක් විනාශයට පත්වීමත් සමඟ මෙම නිෂ්පාදන හිඟය නිර්මාණය වී ඇති බව වාර්තා වේ. වගාවන්ට සිදු වූ හානිය හේතුවෙන් අස්වනු අඩුවීම නිසා ඉදිරි කාලයේදී ද ඉඟුරු මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.


























