වත්මන් රජය සමයේ ඉන්දියාවෙන් ආනයනය කර බෙදා හරින ලද ‘ඔන්ඩෙස්ටෙරෝන්’ (Ondesterone) එන්නතෙහි බැක්ටීරියා විෂ අඩංගු විය හැකි බවට මතු වූ සැකය මත සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊයේ (30) නිකුත් කරන ලද උපදෙස් මාලාවකට අනුව, මෙම එන්නත ලබා දීමෙන් පසු රෝගීන් තුළ කිසියම් අසාත්මිකතාවක් හෝ සංකූලතාවක් දක්නට ලැබුණේ නම් ඒ පිළිබඳව වහාම වාර්තා කරන ලෙස දිවයින පුරා පිහිටි රෝහල් වෙත දැනුම් දී ඇත. එමෙන්ම, අදාළ රෝහල් පරිශ්‍රයන් තුළ මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල දත්ත ද ලබා දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.මීට පෙර, මහනුවර ජාතික රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී මෙම එන්නතෙහි බැක්ටීරියා විෂ (Bacterial Toxins) ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, වෛද්‍ය චමල් සංජීව සහ රවි කුමුදේශ් මහතා පවසන පරිදි, සති දෙකක පමණ කාලයක් ගත වී ඇතත් ජාතික ඖෂධ තත්ත්ව පාලන විද්‍යාගාරයේ පූර්ණ පරීක්ෂණ වාර්තා මෙතෙක් නිකුත් වී නොමැත. පවතින තත්ත්වය හමුවේ මෙම පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු වහාම ලබා දෙන ලෙස බලධාරීන් සියලු රෝහල්වලින් ඉල්ලා සිටියි.


























