ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් සහ එරට රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලා ලබන පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කෙරේ. නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ 1960 දශකයේ සිදුකළ කැණීම්වලින් හමුවූ මෙම ධාතූන් වහන්සේලා මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙම දුර්ලභ අවස්ථාව උදා වී ඇත. මේ පිළිබඳ මූලික සංවිධාන කටයුතු සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජනවාරි 21) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.පෙබරවාරි 04 වනදා කටුනායක ගුවන් තොටුපළින් මෙරටට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමටත්, එතැන් සිට දින හතක් පුරා බැතිමතුන්ට වැඳපුදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් රජය සහ ගංගාරාම විහාරස්ථානය එක්ව කටයුතු සූදානම් කර ඇත. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරිඳේ අස්සජි නායක හිමියන් මෙහිදී සඳහන් කළේ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට කොළඹට පැමිණෙන අතිවිශාල ජනතාවට කිසිදු අපහසුවක් නොවන අයුරින් සියලු පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. මෙම අවස්ථාව ශ්‍රී ලාංකික බෞද්ධ පුනරුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූ අතර, බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු රැසක් මෙම සාකච්ඡාවට එක්වූහ.


























