බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ නිපා වෛරසය (Nipah virus) ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු පමණක් බව ඉන්දීය රජය පසුගිය අඟහරුවාදා නිල වශයෙන් තහවුරු කළේය. මුල් අවස්ථාවේදී රෝගීන් පස් දෙනෙකු පිළිබඳ වාර්තා පළ වුවද, පරීක්ෂණ වාර්තා අනුව එය දෙදෙනෙකු දක්වා සංශෝධනය වූ බවත්, අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ තායිලන්තය, නේපාලය, තායිවානය සහ හොංකොං වැනි රටවල් බටහිර බෙංගාලයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපළවල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂණ ක්‍රියා පටිපාටි ආරම්භ කර ඇත.මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සමීපතමයින් 196 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය සෞඛ්‍ය සේවකයින් සහ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයෝ වෙති. නිපා වෛරසය ආසාදනය වූ විට රෝග ලක්ෂණ මතු වීමට දින 4 සිට 21 දක්වා කාලයක් ගත විය හැකි අතර උණ, වමනය සහ වලිප්පුව මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු වවුලන්ගෙන් ව්‍යාප්ත වන අතර, වවුලන්ගේ ඛේටය හෝ අපද්‍රව්‍ය තැවරුණු පලතුරු පරිභෝජනයෙන් මිනිසුන්ට ආසාදනය විය හැකිය. මීට අමතරව ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර තරල හරහා තවත් පුද්ගලයෙකුට වෛරසය පැතිරීමේ අවදානමක් ද පවතී. නිපා වෛරසය සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර, රෝගීන්ට ලබා දිය හැක්කේ සංකූලතා පාලනය කිරීම සඳහා වන උපකාරක ප්‍රතිකාර පමණි. 2018 සහ 2025 කාලය තුළ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මෙවැනි වෛරස ව්‍යාප්ත වීම් නවයකට මුහුණ දී ඇති අතර, මීට පෙර අවස්ථාවලදී කිහිප දෙනෙකු මිය යාම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයකින් පසුවෙයි. 1999 වසරේදී මැලේසියාවෙන් මුලින්ම හඳුනාගත් මෙම වෛරසය, ඌරන්, බල්ලන්, එළුවන් සහ අශ්වයන් වැනි සතුන්ටද වැළඳිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


























