​ඉන්දීයාවේදී ශ්‍රී ලාංකික දරුවන් 50කට හෘද සැත්කම්: සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රොටරි සමාජය අතර ගිවිසුමක්

​ශ්‍රී ලංකාවේ සංජානනීය හෘද රෝග ඇති දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචින් නුවර පිහිටි අම්රිතා රෝහලේදී හෘද සැත්කම් සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත. සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ බටහිර රොටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම (MoU) ඊයේ (10) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ කොළඹ බටහිර රොටරි සමාජයේ සභාපති කේ. පී. නාගරාජා මහතා ඒ වෙනුවෙන් අත්සන් තැබූහ. මෙම මුලපිරීම කොළඹ බටහිර සහ කොචින් බටහිර රොටරි සමාජ දෙකෙහිම ඒකාබද්ධ සහයෝගය ඇතිව, සැත්කම් සඳහා අරමුදල් සපයමින් රොටරි ගෝලීය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය පවසන පරිදි, දැනට ශ්‍රී ලංකාවේ දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටී. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙම පොරොත්තු ලේඛන අඩු කිරීම සහ හදිසි සැත්කම් අවශ්‍ය දරුවන්ට නියමිත වේලාවට ප්‍රතිකාර ලබා දීමයි. සුදුසුකම් ලත් රෝගීන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය තක්සේරුව මත පදනම්ව තෝරා ගනු ඇත. මෙය ව්‍යාපෘතියේ දෙවන අදියර සනිටුහන් කරයි. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලාංකික දරුවන් 60 දෙනෙකු අම්රිතා රෝහලේදී සාර්ථකව හෘද සැත්කම්වලට භාජනය වී ප්‍රතිකාර වලින් පසු නැවත මෙරටට පැමිණ ඇත. මෙම වැඩසටහනට අම්රිතා රෝහලේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පුහුණු අවස්ථා ලබා දීම ද ඇතුළත් වන අතර, නූපන් දරුවන්ගේ සංජානනීය හෘද රෝග හඳුනා ගැනීම පිළිබඳ පුහුණුවක් පැවැත්වීම සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතය.

What's your reaction?

Related Posts

1 of 835

Leave A Reply

Your email address will not be published. Required fields are marked *