ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව තරග වැදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පකිස්ථාන රජයට සහ එරට ක්‍රිකට් කණ්ඩායමට සිය ස්තුතිය පුද කර ඇත. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලොවම බලා සිටින මෙම ඉන්දු – පකිස්ථාන තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකිවීම මහත් සතුටට කරුණක් බවයි. තරගාවලියේ සම සත්කාරක රටක් ලෙස මෙම තීරණයට සහාය දුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) සහ අනෙකුත් පාර්ශවයන්ට ද එතුමා ස්තුතිය පළ කළේය.මෙම තීරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයක් පැවැත්වුණු අතර, එහිදී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණි. එහිදී 1996 ලෝක කුසලාන සමයේදී මෙන්ම, මෙරට ත්‍රස්තවාදය පැවති දුෂ්කර අවස්ථාවන්හිදී ද ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම වෙනුවෙන් පකිස්ථානය සහ ඉන්දියාව ලබා දුන් සහාය ජනාධිපතිවරයා කෘතඥ පූර්වකව සිහිපත් කරන ලදී.ඒ අනුව, ලබන පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා තම කණ්ඩායමට සහභාගී වන ලෙස පකිස්ථාන රජය නියෝග කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සහ ගෝලීය ක්‍රීඩාවට සහාය වීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව පකිස්ථාන රජය නිල වශයෙන් නිවේදනය කර ඇත. මීට පෙර පකිස්ථානය මෙම තරගය වර්ජනය කිරීමට සලකා බැලුවද, අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා මේ වන විට ඒ පිළිබඳ අවසන් තීරණය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙත නිල වශයෙන් දන්වා තිබේ.


























