ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කර ඇති එරික් ජී. මෙයර් (Eric G. Meyer) මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව ප්‍රකාශයක් සිදුකර තිබේ. සෙනෙට් විදේශ සබඳතා කමිටුව හමුවේ මේ ප්‍රකාශය සිදුකර ඇත.මෙම ප්‍රමුඛතා අතර ප්‍රධාන වශයෙන්ම සමුද්‍ර ආරක්ෂාව ශක්තිමත් කිරීම, ආර්ථික සංශෝධන සඳහා සහාය වීම සහ ඉන්දියානු සාගර කලාපයේ චීනයෙන් වැඩිවන බලපෑමට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම ඇතුළත් බව එරික් මෙයර් මහතා පෙන්වා දුන්නේය.ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගවල මධ්‍යස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහයන් සඳහා අතිශය වැදගත් බව ඔහු සඳහන් කළේය.එමෙන්ම, චීනය ඇතුළු “විරුද්ධ බලවේගයන්ගේ” බලපෑම්වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමද අමෙරිකාවේ ප්‍රමුඛ අරමුණක් බව ඔහු අවධාරණය කළේය.ඉන්දියානු සාගරයේ අතිශය කාර්යබහුල නාවික මාර්ගවලට ආසන්නව ශ්‍රී ලංකාව පිහිටා ඇති බව මෙයර් මහතා පැහැදිලි කළේය. අමෙරිකානු නාවික යාත්‍රා සහ ලෝකයේ මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය වන ඛනිජ තෙල් ප්‍රමාණයෙන් විශාල කොටසක් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ජල සීමා හරහා ගමන් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.තානාපති ලෙස පත්වුවහොත් තම ප්‍රමුඛතම කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව ඔහු තවදුරටත් කියා සිටියේය.මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 600කට අධික පිරිසක් මියගොස්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් වූ අවස්ථාවේදී අමෙරිකාව ලබාදුන් සහායද මෙයර් මහතා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.එහිදී, අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2ක හදිසි සහායක් ලබාදීමටත්, හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් භාවිතා කරමින් සහන කටයුතු සඳහා සහාය වීමටත් කටයුතු කළ බව ඔහු සඳහන් කළේය. එය ශ්‍රී ලංකාව සමඟ ඇති ශක්තිමත් හා දිගුකාලීන හවුල්කාරිත්වයේ සාක්ෂියක් බවද එතුමා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ 2022දී ඇති වූ දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පසු නැවත නැඟීසිටීම පිළිබඳව අදහස් දැක්වූ එරික් මෙයර් මහතා, ශ්‍රී ලංකාව කලාපීය ආර්ථික නායකයෙකු බවට පත්වීමේ හැකියාව ඇති බව පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස කොළඹ වරායේ ධාරිතාව ඉදිරියේදී දෙගුණ වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහනට අදාළ ආර්ථික සංශෝධන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව මෙයර් මහතා අවධාරණය කළේය. “ආර්ථික ස්වෛරීභාවය යනු ජාතික ස්වාධීනත්වයට සෘජුවම සම්බන්ධයි. මෙම සංශෝධන දිගටම පවත්වා ගියහොත්, අමෙරිකානු ආයෝජන සහ සමාගම් සඳහාද ශ්‍රී ලංකාවේ අවස්ථා වැඩිවේ,” යනුවෙන් ඔහු පැවසීය.සෙනෙට් විදේශ සබඳතා කමිටු සභාපති ජිම් රිෂ් මහතා, ශ්‍රී ලංකාවේ වරාය ව්‍යුහයන් සම්බන්ධයෙන් චීනය කළ භූමිකාව ගෝලීය වශයෙන් අනතුරු ඇඟවීමක් ලෙස උපුටා දක්වමින් අදහස් දැක්වීය. ඊට ප්‍රතිචාර ලෙස මෙයර් මහතා කියා සිටියේ, අමෙරිකාව “විවෘත සහ පැහැදිලි” ද්විපාර්ශ්වික සබඳතා සඳහා කැපවී සිටින බවත්, ශ්‍රී ලංකාව තම ස්වෛරීභාවය, විශේෂයෙන්ම වරායන් පිළිබඳව, ආරක්ෂා කරගැනීමට සහාය වීමට සූදානම් බවත්ය.ඉන්දු-පැසිෆික් ප්‍රවේශයේ කොටසක් ලෙස, ආරක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව ශ්‍රී ලංකාව සමඟ අමෙරිකානු සබඳතාවල මූලික අංගයක් වන බවද මෙයර් මහතා සඳහන් කළේය.ආපදා සහන, ජාත්‍යන්තර අපරාධ හා මිනිස් ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම, සමුද්‍ර අවකාශ අවබෝධය වර්ධනය කිරීම සහ වරාය ආරක්ෂාව ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස ඔහු පැහැදිලි කළේය.


























