අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියානු කලාපයේ රිච්ටර් මාපකයේ 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තා වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් සහතික කර සිටියි. මෙම භූ චලනයත් සමඟ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් භූකම්පන කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ක වපසරියක් ඇතුළත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද, ඉන් මෙරට වෙරළ තීරයට හානියක් සිදුවීමේ ඉඩකඩක් නොමැති බව අප කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල වෙරළාසන්න ප්‍රදේශවලට භයානක සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බවයි. පැසිෆික් කලාපීය රටවල් කිහිපයකට මෙම තත්ත්වය බලපානු ඇතැයි අනාවැකි පළ වුවද, ඉන්දීය සාගර කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවට එමඟින් එල්ල විය හැකි තර්ජනයක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් මහජනයා අනියත බියක් ඇති කර නොගත යුතු බව බලධාරීන් පෙන්වා දෙයි.




















